කෙටි වාර්තාව

කෙටි වාර්තාව

සෑම් සොයිසා ආපසු ලංකාවට ගිය වහාම මම අයියට ටෙලිෆෝනෙන් කතාකලා.

“සෑම් ආපහු ගියා. මෙහෙ එනවානම් එන්න කාලේ හොඳයි”

“ඒක හරියන්නෙ නෑ උපා…. පොඩි එකී ඉස්කෝලේදී වැටිලා කකුලේ හෙයාලයින් ෆ්රැක්චර් එකක්…. ඒක එක විදිහක් එනකන් එවෙන්නෙ නෑ”

“පව් අප්පා …. කොහොමද කෙල්ලට දැන්? අපරාදේ හැබැයි …. තව මාසෙකින් දෙකකින් මගෙ වැඩත් ඉවරයි - මේ අංතිම චාන්ස් එක!”

“කරන්න දෙයක් නෑ…. දැන් රිපෝර්ට් ලියනවද?”

“පටන්ගන්නවා…. හැබැයි එකතුකරලා තියෙන දේ වලින් ගෝනියාව ගැන කතාවක් ගොතන්න අමාරුයි!”

“කතාවට බම්බු ගහගන්න කියලා ඇයි එක එක මාතෘකාවට පරිච්චේදයක් විදිහට බෙදාගන්නෙ නැත්තේ? එතකොට කියවන අයට ලේසියි කතාවකින් අදහස් ඇදලා ගන්නවට වඩා”

ඒ වෙලාවෙයි මම වාර්තාව ගැන වෙන විදිහකට ලියන්න පටන්ගත්තේ.

අවුරුදු දෙකකකට කිට්ටු කාලයක් එකතුකල දත්ත වාර්තාවක් බවට හැරවීම මට හුරු පුරුදු කාර්යයක් නොවෙයි. මගෙ ‘දකුණ බලා’ පොත ලිව්වේ දත්ත ගොන්නක් විශ්ලේෂණය හරහා අඛණ්ඩ කතාවක් ගොඩනැගීමෙන් නොව දත්ත පරිච්චේද ලෙස ගොනුකිරීමෙනුයි. පුංචි අයියා කියන්නෙත් ඒකයි.

“හැබෑට මම ගාල්ල ගැන ලිව්වෙත් එහෙමයි! මේක යුනිවසිටි ප්රොජෙක්ට් එකක් නිසා තමා මම හිතුවේ එක දිග හෑල්ලක් ලියන්න - ඇත්තටම ඕන නෑ නේද? තැන්ක්යූ තැන්ක්යූ තැන්ක්යූ…. අදම පටන්ගන්නවා අළුත් විදිහට ලියන්න!”

“මංම ඉන්න ඕන මෙව්වා කියා දෙන්න! රිපෝට් ඇරුනුකොට වෙන තොරතුරු කොහොමද?”

“… කියන්න තරම් යමක් නෑ…. පුංචි අයියා ආවනම් ඔන්න… මගෙ යාළුවෝ එහෙම හඳුන්නලා දෙන්න තිබුනා”

“කෙල්ලෙක් වෙන්න ඇති! මීට ඉස්සරත් එකම සැරයයි මට උපාගෙ ‘යාළුවෝ’ හඳුන්නලා දුන්නේ!”

“… ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා… මං කැමතියි පුංචි අයියට මිතිලා හඳුන්නලා දෙන්න….”

“ඇයි ඉතින් නිවාඩුවකට ලංකාවේ එක්ක එන්නෙ නැත්තේ? එයාගෙ දෙමව්පියන්ටත් කතාකරන තත්වෙකද ඉන්නේ?”

ඒකට මට උත්තර නෑ. ආයෙ අයියට කතා කරන්න ඉස්සර ප්රශ්න කීපෙකට උත්තර සොයාගෙනඉන්න මම තීරණේ කරගත්තා.

……………………..

මගේ පලවෙනි සැලැස්ම සම්පූර්න කරන්න දවසක් ගියා.
  දළ සැලැස්ම රැගෙන මම චක් වෙත ගියේ මගේ සහකරුවෝ දෙදෙනට මා එකතු කරතිබූ සටහන් වර්ගකොට ගොනුකිරීමටත් අවශ්ය බාහිර කරුණු සොයාගැනීමට අන්තර්ජාලය කරක්ගෑමටත් උපදෙස් දීලයි.

“මේකයි චක් වැඩේ…. දැන් මම වාරතාව ලියන කාලේ. නමුත් මේ වගේ වාර්තාවක් මම මීට ඉස්සර ලියලා නැතිබව චක් දන්නවා. මගෙ අයියගෙ අවවාදේ දත්ත එකට ගැටගහලා කතාවක් ලියනවට වැඩිය හොඳයි දත්ත මාතෘකා වලට බෙදලා වෙන වෙනම ලියන එක කියලා… වැඩේ තියෙන්නේ එයා ඉංජිනේරුවෙක් - සමාජවිද්යාවේ කෙනෙක් නෙවෙයි!”

මම මේ අදහස් ඉදිරිපත්කළේ චක්ගෙ කාමරේදියි. චක් මගේ සැලැස්ම කියවා ඉවර කරලා, අපි දෙන්නටම කෝපි දෙකකුත් හදාගෙනයි කතාකළේ.

“මේ සැලැස්මේ විදිහට ලියවුනොත් වාර්තාව හොඳටම ඇති - අනික් අයට කියමු ඕන නම් කතා ලියන්න කියලා!.... මට ලොකු ප්රශ්නයක් පෙනෙන්නෙ නෑ සැලැස්මේවත් දැනට උපාලී එකතුකරලා තියෙන තොරතුරු වලවත්…. මාසෙකින් වැඩ ඉවර කරන්න පුළුවන්, මං හිතන්නේ”

“උත්සාහ කරන්නේ එහෙම ඉවර කරන්න තමා”

චක් ටිකක් කල්පනා කලා මා දිහා බලාගෙන.

“… ඒ කියන්නේ මාසෙකින් දෙකකින් ආපහු ලංකාවට යන්න…?”

“එහෙම තමා ප්රොජෙක්ට් එක ඉවරවුනාම…”

“… උපාලිට ඇත්තටම හදිස්සියේ යන්නම ඕනද? මං කියන්නේ පවුලේ හරි රස්සාවේ හරි ඕන කමක් නිසා…”

“අපෝ නෑ! ලංකාවේ ඉන්නේ අයියගෙ පවුල විතරයි කිට්ටුයි කියන්න… තව ඈතින් නෑදෑ වෙන කීප දෙනෙකුත් ඉන්නවා…. මං හිතන්නේ! රස්සාව… ආයෙත් පොතක් ලියන්න පටන්ගෙන හිටියේ - ආයෙත් ඒකට බහිනවා ගිහින්… ඇයි චක් එහෙම ඇහුවේ?”

“… නෑ… මේ කෑම් මගෙන් ඇහුවා උපාලී කැමතිවෙයිද කියලා මේ ගවේෂණය දිගට ගෙනියන්න පශ්චාත් උපාදියකට වැඩ කරනගමන්… මෙහෙ හරි කොළඹ විශ්වවිද්යාලේ හරි එන්රෝල් වෙලා කරන්න පුළුවන්… කෑම් කිව්වා මෙහෙ උප්දේශකයෙක් හැටියටත් වැඩ කරන්න පුළුවන් කියලා… ගෙවීම ලොකු නොවුනත් ජීවත්වෙන්න හොඳටම ඇති…”

මට අදහාගන්න බැරිවුනා ගහෙන් ගෙඩියක් වැටුනා වගේ ආපු ඒ යෝජනාව.

“… තෑන්ක්යූ චක්… තෑන්ක්යූ වෙරි මච්… මට දවසක් විතර දෙනවද හිතලා බලන්න!”

“නෝ ප්රොබ්ලම් - සතියකින් උත්තර දුන්නොත් ඇති”

………………………

මම කෙලින්ම ගියේ මිතිලගෙ කන්තෝරුවට.

“හේ… මිතිලා…. කෝපි එකක් බොන්න වෙලා තියෙනවද?... නෑ ලන්ච් වලට වෙලා තියෙනවද?”

මිතිලා මං දිහා බැළුවේ කල්පනා මුහුනකින්.

“හදිස්සියක්නම් පුළුවන් - ඇනී… මගෙ ෆෝන් එකත් බලාගන්නවද?”

මිතිලා එයාගෙ වැඩ කන්තෝරුවේ අනිකෙකුට පැවරුවා - තවම හිනාවක් නෑ.

අපි කතාවක් නැතුව පුරුදු කෝපි කඩේට ගියා.

“මොකද උපාලී හදිස්සියේ - වෙනදා නැති කලබලයක්?”

මට හිනා ගියා.

“මිතිලා දන්නවා නේ මගෙ ප්රොජෙක්ට් එක මාස දෙකකින් ඉවරයි කියලා”

“ඔවු”

මිතිලා උත්තර දුන්නේමේසේ දිහා බලාගෙන.

“මම තව ටිකක් කල් නවතිනවානම්?”

“මොනවද උපාලී මේ අහන්නේ?”

“මිතිලා… මම මේවට දක්ශ නෑ - බයිස්කෝප් වල වගේ හොඳ වචනත් නෑ… මිතිලා කැමතිනම් …. මට රස්සාවක් හම්බවුනා මෙහෙ නවතින්න පුළුවන් …. තව අවුරුදු කීපෙකට… මිතිලා කැමතිනම්…. අ… මම කැමතියි මිතිලව බඳින්න…”

මිතිලගෙ මූනේ හිනාවක් නෑ. මට හිතුනා මම පුඳුම ගොං වැඩක් කරේ කියලා.

“සොරි මිතිලා… මට කිසිම අයිතියක් නෑ එහෙම අහන්න…. අමතක කරලා දාන්න… ආපහු ලංකාවට යන්නත් තියෙනවා….:

මටම දැනෙනවා මම දොඩවන්නේ බූරුවෙක් වගේ කියලා. මිතිලා යාන්තම් හිනාවක් පෙන්නුවා.

“අදම?”

“ලංකාවේ යන්නේ?”

“නෑ මාව බඳින්නේ!”

………………………

මගෙ දැන් පදිංචිය ගොනියාවේ. ගෝනියා විශ්වවිද්යාලේ පස්චාත් උපාධියකට ලෑස්තිවෙන මම මිත්ලත් එක්ක ඉන්නේ හිටපු ගෙදරමයි. අපි දෙන්නම රස්සා කරන නිසා ජීවත්වෙන්න අපේ පඩි ඇති. අපෙ කසාදෙට පුංචිඅයියගෙ මුළු පවුලම ආවා. කොළඹින් සෑම් සොයිසත්, බන්දු ඇතුළු මිත්රයෝ කීපදෙනෙකුත් ආවා. මගේ දෙවෙනි මනමාල රාහිත් කළ කතාවට මම අන්තිම ඡේදය බාර දෙනවා.

“මම මේ අවස්ථාවේ දිග කතාවක් පවත්වන්න අදහසක් නෑ - උපාලිගෙ නෑදෑයොත් මිත්රයොත් බීම මේසයක් වටා ගැවසෙන වෙලාවට මමත් එතන සිටීම මගේ යුතුකමක් කියලා මං හිතන්නේ. උපාලී … යමුද අපිත් එතෙන්ට? (හිනා)”

“මට උපාලී මුනගැහුනේ එයා ගෝනියාවට ඇවිත් පැය විසි හතරක් යන්නත් ඉස්සරයි - කෑම කාමරේදී. මං හිතන්නේ ඊට වඩා උචිත වෙනවා අපි මුනගැහුනේ ‘බීම කාමරේ’ නම්! (හිනා). ඒ මම සමාජ විද්යාවේ නිරත ලාංකිකයෙක් හමුවූ පළවෙනි වතාවයි - ඒ පිළිබඳ මගේ එකම ප්රාර්ථනාව - මින් මතු මෙවැනි වාසනාවත් සිදුවීමක් මගේ සතුරෙකුටවත් නොවේවා කියලයි! (හිනා). අපෙ උපාලී… අපි උපාලී ගැන හිතන්නේ එහෙමයි - එයා අපෙ එකෙක් - ගෝනියාව වටේ බස් එකේ යන්න ගියේ ආ සතියේමයි. පිටරටවල් වලින් විශ්වවිද්යාලෙට එන අනික් අය බොහෝවිට ටවුමෙන් එලියට… ඇතටම විශ්වවිද්යාලයෙන් එලියට යන්නේ මාසෙකට පස්සේ… බයයි මෙහෙ විශබීජ වලට, මං හිතන්නේ…. ඒකට උපාලී! හරියට ‘මේවා විශබීජ? හඃ - බලන්න තියෙන්නේ අපේ විශබීජ - පොල් ගහක් විතර උසයි!’ කියනවා වගේ”

“දවසක් උපාලී මට කියනවා - ‘රාහිත්, මට ඉන්න ගෙදරක් සොයාගන්න ඕන… මගෙ ලොක්කා එනවා’ කියලා. හැබැයි ඊට සති දෙකක් ඉස්සර ඉඳන් මිනිහා ඉඩකඩම් ගනුදෙනු ආයතනයක කන්තෝරුව ඉස්සරහ පැල් බැඳගෙන - මිතිලා දැකගන්න. එයාට ගෙදරක් නෙවෙයි ඕන වෙලා තිබුනේ - මිතිලයි!”

“…. පොඩ්ඩක්…. සුළුවශයෙන් හරි ඇත්ත කතා කළොත්… උපාලිත් මිතිලත් බඳින්නේ එකිනෙකාට තියෙන හදපතුලෙන් නැගීඑන ආදරේ නිසා. මම උපාලී හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා. මට කියන්න පුළුවන්, කිසිම සැකයක් අනුමානයක් නැතුව, මගේ ජීවිතේ හමුවෙලා තියෙන ඉතාම නිහතමානී, බුද්ධිමත් අවංක පුද්ගලයා උපාලී කියලා. මම මිතිලා හමුවෙලා වැඩි කාලයක් නෑ (උපාලී අපිට කිසිම දෙයක් නොකිව්ව නිසා) නමුත් මට හොඳටම සහතිකයි මේ දෙන්නාගේ අනාගතය සෑම අයුරින්ම සමුර්ධිමත්වෙයි කියලා. අපි මේ දෙන්නට දැන් ජය පතමු!”